September 4, 2026

ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා සහ කොමසාරිස් රොබර්ට් ජේ. හාවි සැප්තැම්බර් 6 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා පිහිටි වෙළඳපළවල් සම්බන්ධ කරන නැව් ජාලයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

මෙම සංචාරය අතරතුර, සභාපතිවරිය සහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ රජයේ සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, 8 වන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සභාපති ලෝරා ඩිබෙල්ලා විසින් පවත්වනු ලබයි. කොමසාරිස් රොබර්ට් හාවි එහි විශේෂ මණ්ඩල සාකච්ඡාවකට ද එක්වීමට නියමිතය.

කොළඹ වරාය හරහා ගමන් කරන කන්ටේනර් වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකයේ විවිධ ගමනාන්ත වෙත අඛණ්ඩව ගමන් කරන බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර්, මෙය ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය සැපයුම් දාමයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉටුකරන වැදගත් කාර්යභාරය මනාව පෙන්නුම් කරන්නක් බව අවධාරණය කරයි. ආරක්‍ෂිත සහ කාර්යක්ෂම නැව්ගත කිරීමේ ක්‍රමවේදයන් හරහා ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය වන අතරම, ශ්‍රී ලංකාවේ කලාපීය මධ්‍යස්ථාන තත්ත්වය තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු සඳහන් කළේය.

1961 දී පිහිටුවන ලද ෆෙඩරල් සමුද්‍රීය කොමිසම යනු ඇමරිකානු අපනයනකරුවන්ගේ, ආනයනකරුවන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අන්තර්ජාතික සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කරන ස්වාධීන ෆෙඩරල් ආයතනයකි.මෙම සංචාරය හරහා දෙරට අතර සමුද්‍රීය වෙළඳ සබඳතා වඩාත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.