September 4, 2026

ලෝකයේ රටවල් 21ක වයස අවුරුදු 12 ත් 17 ත් අතර පසුවන ළමුන් මිලියන 20 කට අධික සංඛ්‍යාවක්, එනම් දරුවන් 5 දෙනකුගෙන් එක් අයකු වසරක් තුළ තාක්ෂණය පදනම් කරගත් ලිංගික අපයෝජනයකට හෝ සූරාකෑමකට ලක්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නව වාර්තාවේ දැක්වේ.

‘Through Children’s Eyes’ නමින් එළිදැක්වුණු මෙම වාර්තාවට අනුව, දරුවන් මිලියන 15 කට වැඩි පිරිසකට අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුවී ඇති අතර, මිලියන 9 කට අකමැත්තෙන් ලිංගික සංවාදවල යෙදීමට බලපෑම් කර තිබේ. එමෙන්ම දරුවන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවකගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ලිංගික ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත. දරුවන් මෙවැනි දෑ වාර්තා කිරීමට මැළිවීම හේතුවෙන් සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බව එම වාර්තාවේ සදහන් වේ.

සිද්ධීන්වලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ටික්ටොක් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හරහා සිදුවී ඇති අතර, සියයට 14 ක් ඔන්ලයින් ක්‍රීඩා තුළ සිදුවී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ සිද්ධීන්ගෙන් සියයට 57 ක්ම දරුවා දැනටමත් හොඳින් දන්නා හඳුනන සම වයසේ මිතුරන්, හිතවතුන් හෝ පවුලේ සාමාජිකයන් මෙම අපයෝජනවලට සම්බන්ධ වීමයි.

මෙම අත්දැකීම් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපා ඇති අතර, අපයෝජනයට ලක් වූ දරුවන් සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ ස්වයං-හානිකර හැසිරීම් වාර්තා කිරීමට ඇති ඉඩකඩ සාමාන්‍ය දරුවන්ට වඩා හතර ගුණයක් වැඩි බව විශ්ලේෂණයෙන් හෙළි වේ.

කෙසේවෙතත්, අපයෝජන සිද්ධීන්වලින් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් කිසිවකු සමඟ බෙදාගෙන නොමැති අතර, නිලධාරීන්ට වාර්තා කර ඇත්තේ සියයට 1 කටත් අඩු ප්‍රමාණයකි.

ඩිජිටල් යුගයේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඩිජිට‍ල් වේදිකා වඩාත් සුරක්ෂිත ලෙස නිර්මාණය කිරීම, නීතිමය රාමු ශක්තිමත් කිරීම සහ දරුවන්ට විශ්වාස කළ හැකි උපකාරක පද්ධති ගොඩනැඟීම කඩිනමින් සිදු කළ යුතු බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.