September 4, 2026

පොළොන්නරුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමන් රුපියල් මිලියන 3.5ක මුදලක් වැයකළ බවත්, ඉදිරි වසරක කාලය සඳහා තම පෞද්ගලික වියදමින් එම දුම්රිය ස්ථානය නඩත්තු කිරීමට පොරොන්දු වන බවත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

“ඔන්න මම ඔයාලට පොරොන්දු වුණා වගේම ලස්සනම ලස්සන දුම්රිය ස්ථානයක් අපේ පොළොන්නරුවෙ ජනතාවට ලබා දුන්නා. ඉතින් මෙතනින් පස්සෙ මතු පරපුර වෙනුවෙන් ඒක සුරක්ෂිතව රැක බලා ගන්න එක ඔයාලගෙ යුතුකමක්. ඒ නිසා වසරක් යනතෙක් මගෙ පෞද්ගලික වියදමෙන් මෙහි නඩත්තු කටයුතු සිදුකරමින්, මෙය ඔබ වෙනුවෙන් රැකබලා ගන්න වගකීමත් මම මෙයත් සමඟම බාරගත්තා” යැයි සිරිසේන සඳහන් කරයි.

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම සහ තත්වයෙන් උසස් කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘සිහින ගමනාන්ත’ (Dream Destination) ජනතා වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය ඊයේ (04) ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම වැඩසටහන ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් මූල්‍යමය සහ සේවා දායකත්වය ලැබී ඇත.

පොළොන්නරුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අරලිය සමූහ ව්‍යාපාරය විසින් සිදුකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 3.5ක දායකත්වයක් ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතියට දැනට පවතින දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, විශ්‍රාම ශාලා, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය සඳහා වන පහසුකම් මෙන්ම වෙනම කාන්තා සහ පිරිමි වැසිකිළි පහසුකම් ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම ඇතුළත්ව තිබේ.