September 2, 2026

චීනයේ සිට ආනයනය කරන ලද ලෝහ දොරවල් ඇතුළත සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත සිගරට් 200,000කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආනයනික භාණ්ඩ රැගත් බහලුමක් පරීක්ෂා කිරීමේදී රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

රේගු පරීක්ෂාවන්ගෙන් බේරී හොර රහසේ රැගෙන ඒමේ අරමුණින් මෙම සිගරට් තොගය ඉතා සුක්ෂම ලෙස දොරවල් තුළ සඟවා තිබූ බව රේගුව පවසයි.

අත්අඩංගුවට ගත් සිගරට් තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 30කට (කෝටි 3කට) අධිකය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීහු සිදුකරනු ලබති.