September 1, 2026

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශවලට බලපෑ අතිශය විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ ඕස්ට්‍රේලියානුවන් පිරිසක් අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ බාලවයස්කාර පුතුන් දෙදෙනාද වන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 47 හැවිරිදි චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි ෂයිලජා මුරලිදරන් සහ ඔවුන්ගේ පුතුන් වන 14 හැවිරිදි අශ්වින් හා 11 හැවිරිදි ආරුෂ් යන අයයි.

Himalayan Glacier Adventures සංචාරක කණ්ඩායම සමඟ ගමන් කරමින් සිටියදී ඔවුන් සමඟ පැවැති සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

වයඹදිග සිඩ්නි හි පදිංචිව සිටි මෙම පවුලේ චන්ද්‍රසේකරන් යාපනයේ කෝපායි ප්‍රදේශයේ අයෙකි. ඕස්ට්‍රේලියාවේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයන් වන මෙම යුවළගේ පුතුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේදී උපත ලබා ඇත.

අගෝස්තු 26 වනදා මෙම හදිසි ගංවතුර තත්ත්වයට මුහුණ දෙන අවස්ථාවේදී ඔවුන් කයිලාශ කූටය වන්දනා කිරීමේ සංචාරයක නිරතව සිට ඇත.

සංචාරයේ ආගමන විගමන කටයුතු සඳහා සීමාන්තික ප්‍රදේශය වෙත යාමට පෙර උදෑසන ආහාරය ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පවුලේ අය සමඟ අවසන් වරට සබඳතා පැවැත්වූ බව ඥාතීන් උපුටා දක්වමින් ඕස්ට්‍රේලියානු ABC පුවත් සේවය සඳහන් කරයි.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයේ මාර්ග, විදුලි බලය සහ සන්නිවේදන ජාලයන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම නිසා එම ඇමතුමෙන් පසුව පවුලේ ඥාතීන්ට ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිවී නොමැත.

මුරලිදරන්ගේ පවුලේ පිරිස සංචාරයේ නිරතව ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචාරක කණ්ඩායමක් සමඟිනි. මෙම ආපදාව සිදුවන අවස්ථාවේදී එම පිරිස නේපාල-චීන සීමාව ආසන්නයේ පිහිටි රසූවාගධි ප්‍රදේශය ආසන්නයේ රැඳී සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ.

ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කළේ මෙම ගංවතුර තත්ත්වයෙන් පසුව තවමත් ඕස්ට්‍රේලියානුවන් 43 දෙනෙකු පිළිබඳ තොරතුරක් නොමැති බවයි. ඔවුන්ගෙන් බහුතරයක් නේපාලය හරහා තිබෙත්හි පිහිටි කයිලාශ කූටය වන්දනා කිරීම සඳහා ගමන් කරමින් සිටි වන්දනාකරුවන් වේ.

මෑත කාලයේ හිමාලයානු කලාපයේ සිදුවූ දරුණුතම සහ වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ස්වාභාවික ආපදාවක් ලෙස මෙම විනාශකාරී ගංවතුර තත්ත්වය වාර්තා වේ.

කෙසේ වෙතත්, මුරලිදරන්ගේ ඥාතීන්ගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ අතුරුදහන් වූ තම පවුලේ සාමාජිකයන් සිව්දෙනා පිළිබඳව යම් තොරතුරක් සොයා ගැනීමයි.