September 1, 2026

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන අංශ ද්විත්වයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් මෙම විශේෂ රාජකාරි පදනම මත මෙම පත්වීම් සිදු කර ඇත.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ මාරුවී යාමෙන් හිස් වූ පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ඒ. එස්. කේ. බණ්ඩාර පත් කර ඇත.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයක් සඳහා උසස්වීම් ලැබූ ශානි අබේසේකර, එම අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුවද, ඉදිරියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරනු ඇත.