September 1, 2026

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ තක්සේරු වාර්තාවක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

ආසියානු කලාපයේ රටවලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව කෙරුණු මෙම තක්සේරුවට අනුව, එල්නිනෝ තත්ත්වය හමුවේ වැඩි අවධානයක් යොමුකළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. මෙහිදී ලංකාවට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ වියළි කාලගුණයට වඩා ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි ලෙස හානි සිදුවිය හැකි අධික වර්ෂාපතනයයි.

විශේෂයෙන්ම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟම නොසිතූ ලෙස තද වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, මෙම දේශගුණික අවදානම සහ මැදපෙරදිග පවතින අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේවෙතත්, මෙම තත්ත්වය තවමත් පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම සඳහා මෙය තීරණාත්මක අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් මතක් කර දෙයි.