September 1, 2026

දිවයින පුරා තැඹිලි වගාව ව්‍යාප්ත කිරීම සහ පොල් ක්ෂේත්‍රයේ ආර්ථික දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් නව වැඩසටහනක් යටතේ තැඹිලි ගම්මාන 250 ක් පිහිටුවීමට රජය පියවර ගන්නා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

සැප්තැම්බර් 02 වන දිනට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව “ලංකා තැඹිලි ගම්මාන” වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර, එහි පළමු අදියර යටතේ මෙරට තුළ ගම්මාන 75 ක් ස්ථාපිත කෙරෙනු ඇත.

අපනයන ආදායම ඉහළ නැංවීම, රැකියා උත්පාදනය සහ දිළිඳුකම පිටුදැකීමට සහය දීමේ පුළුල් අරමුණ ඇතිව, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වසරේදී තවත් ගම්මාන 80 ක් සහ 2028 වසරේදී ඉතිරි ගම්මාන 95 ස්ථාපිත කරමින් ගම්මාන 250 හි සමස්ත වැඩසටහන සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

මෙම ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර පිහිටි තවාන් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

පළමු අදියර යටතේ සැලසුම් කර ඇති ගම්මාන 75 න් ගම්මාන 20 ක පමණ කටයුතු සැප්තැම්බර් 02 වන දින ආරම්භ වන අතර, ඉතිරි සියලුම ගම්මානවල කටයුතු ඉදිරි සති එකත් දෙකත් අතර කාලය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.