September 1, 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විශේෂඥ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සේවාවන් වෙන්කිරීමට අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිය නිල ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම සංගමයේ මතය ලෙස දක්වමින් ජනමාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බව සංගමය පවසයි. විධායක සභාව හෝ මධ්‍යම කාරක සභාව විසින් මෙම සංශෝධනය ගැන සාකච්ඡා කර නොමැති අතර කිසිදු නිල ප්‍රකාශයක් ද නිකුත් කර නොමැති බව සඳහන් කළ සංගමය, අදාළ වාර්තා නිවැරදි කරන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඔවුන් සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වීම තම දීර්ඝකාලීන සම්ප්‍රදායක කොටසක් පමණක් වන අතර, එය අදාළ කරුණ සම්බන්ධයෙන් සංගමය කිසියම් තීරණයකට පැමිණීමක් ලෙස නොසැලකිය යුතු බවයි. ව්‍යවස්ථා සංශෝධන යනු ප්‍රධාන වශයෙන් නීතිමය සහ අධිකරණමය කරුණු වන අතර ඒවා තම සංගමයේ විෂයපථයට අයත් නොවන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් පූර්ණය සනිටුහන් කරමින්, සංගමය අවධාරණය කළේ, දැනට පවතින වෛද්‍ය සේවයෙන් විශේෂඥ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවාවන් වෙන්කිරීමට අදාළ කැබිනට් තීරණය කෙරෙහි දැනට තම ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බවයි.

නිසි අධ්‍යයනයකින් සහ පුළුල් සාකච්ඡාවකින් තොරව මෙලෙස සේවාවන් වෙන්කිරීමෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් නොලැබෙන බව පවසමින් සංගමය එම පියවරට ඇති විරෝධය නැවතත් අවධාරණය කරයි. ඒ වෙනුවට, මෙම තීරණය මගින් වෘත්තීය එක්සත්කම බිඳවැටීමට, වෘත්තීය උසස්වීම් මග අවහිරවීමට සහ බඳවාගැනීමේ හා උසස් කිරීමේ ක්‍රියාවලීන්හි සංකූලතා ඇති වීමට ඉඩ ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව මෙවැනි විශාල ව්‍යුහාත්මක වෙනස්කම් හදිසියේ ක්‍රියාත්මක කිරීම අනාගතයේදී බරපතළ ගැටලුවලට මග පාදනු ඇතැයි සංගමය පෙන්වා දෙයි. එම නිසා අදාළ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සියලුම වෘත්තීය සමිති හා සාකච්ඡා කර නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය සේවයේ යම් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන්නේ නම් ඒවා සිදු කළ යුත්තේ පූර්ණ පර්යේෂණ සහ සාකච්ඡාවලින් පසුව පමණක් බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය අවසන් කරමින් සදහන් කරයි.