August 31, 2026

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් දක්වන ළාබාල ක්‍රීඩක වෛභව් සූර්යවංශි දුලීප් කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් තබමින් තරගාවලියක අර්ධ ශතකයක් වාර්තා කළ ළාබාලම ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

දුලීප් කුසලාන අවසන් පූර්ව තරගයේදී නැගෙනහිර කලාපීය කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාකළ 15 හැවිරිදි සූර්යවංශි, මෙයට පෙර 1969 වසරේදී ලක්ෂ්මන් සිං විසින් වයස අවුරුදු 16දී පිහිටුවන ලද වසර 57ක් පැරණි වාර්තාව මෙලෙස අලුත් කරනු ලැබීය.

හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟින් පන්දු 42කින් පමණක් එම අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු සමත් විය.

දුලීප් කුසලාන ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ළාබාලම ක්‍රීඩකයා වීමේ අවස්ථාව ඔහුට අහිමි වූයේ ලකුණු 8ක් මෙපිටින් සිටියදී දැවීයෑම හේතුවෙනි.

මෙම ලැයිස්තුවේ මීට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ පියුෂ් චව්ලා වයස අවුරුදු 16 වනවිට අර්ධ ශතකයක් වාර්තාකර තිබිණි.

මෙම තරගයේදී නැගෙනහිර කලාපිය කණ්ඩායමේ නායක ඉෂාන් කිෂාන්ට සිදු වූ ආබාධයක් හේතුවෙන් මඳ වේලාවකට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, එම කාලය තුළ නැගෙනහිර කලාපීය කණ්ඩායමේ නායකත්වයේ වගකීමද සූර්යවංශි වෙත පැවරීම විශේෂත්වයකි.