August 31, 2026

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත්වී දින 100 ක් ඉක්මවා යත්ම TVK පක්ෂයේ නායක මෙන්ම මහඇමති ජෝසප් විජෙයි 2029 වසරේ පැවැත්වෙන මහමැතිවරණයේදී ඉන්දියාවේ අගමැතිධුරය සඳහා යොමුවිය යුතු යැයි මතුව ඇති මතවාදය හමුවේ ඉන්දීය දේශපාලනය උණුසුම් වී තිබේ. මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද ‘Mood of the Nation’ මත විමසුමකදී අගමැති අපේක්ෂකයන් අතර විජෙයි තෙවැනි ස්ථානයට පත්වීම මෙම ‘Vijay for PM’ ප්‍රචාරක රැල්ලට ප්‍රධාන හේතුව වී ඇත.

කෙසේවෙතත්, මෙම තත්ත්වය දැඩි දේශපාලන මතභේදයකට තුඩු දී ඇති අතර, විරුද්ධ පක්ෂය වන DMK මෙන්ම ආණ්ඩුවේ හවුල්කරුවකු වන කොංග්‍රස් පක්ෂයද එකලෙස මෙම ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

TVK පක්ෂයේ සහ ඇමතිවරුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස සමච්චලයට ලක්කරමින් DMK ලේකම් ආර්.එස්. භාරතී ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂ සාමාජිකයන්ගේ අදහස් මේ ආකාරයෙන් දිගටම ප්‍රකාශ වුවහොත් නුදුරේදීම ඔවුන් විජේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා වීමට පවා නියමිත බව පවසනු ඇති බවයි.

මෙම මතභේදයත් සමඟම තමිල්නාඩු කැබිනට් මණ්ඩලයේ සිටින කොංග්‍රස් අමාත්‍යවරුන් ද දැඩි ස්ථාවරයක් ගනිමින් 2029 වසරේදී කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි අගමැති අපේක්ෂකයා ලෙස TVK පක්ෂය නිල වශයෙන් අනුමත නොකළහොත් තමන් කැබිනට් ධුරවලින් ඉවත් වන බවට අනතුරු ඇඟවීමක් කර ඇත.

තමිල්නාඩු කොංග්‍රස් ප්‍රධානී මනික්කම් ටැගෝර් ද සමාජ මාධ්‍ය හරහා මෙම මත විමසුම් සහ සංඛ්‍යාලේඛන දැඩි ලෙස විවේචනය කරමින් “සෑම සංඛ්‍යාවක්ම සත්‍යය නොපෙන්වන අතර, සෑම මත විමසුමක්ම ජනතාවගේ හඬ නොවන” බව සඳහන් කර ඇත.