August 31, 2026

පසුගිය මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය බලන්න ගිහින් පොලිසියේ ‘නෝ පාකින්’ සයින් බෝඩ් ගණන් නොගෙන පාර දෙපැත්තේ වාහන දාලා ගිය අයට අන්තිමේදී වුණේ හිතාගන්නවත් බැරි වැඩක්. නීතිය කඩපු එකට පොලිසියෙන් දඩ ගහලා, වාහන ටෝ කරලා (Towing) අරන් ගියාට නම් කාගෙවත් අකමැත්තක් නැහැ. හැබැයි, පොලිසියෙන් වාහන ඇදගෙන ගියපු විදිහ නිසා තමන්ගේ වාහනවලට වුණු බරපතළ හානිය දැකලා දැන් වාහන හිමියන්ට යකා නැගලා කියලයි ආරංචිය.

සමහර වාහනවල පස්ස පැත්තට යකඩ චේන් සහ පටි දාලා පාර දිගේ ඇදගෙන ගිහින් තියෙන්නේ කිසිම වගකීමක් නැතුව. ඒ විදිහට ඇදගෙන යෑම නිසා වාහන රැසක ගියර් බොක්ස්, හෑන්ඩ් බ්‍රේක් සිස්ටම් එක විතරක් නෙවෙයි, ටයර් පවා මුළුමනින්ම විනාශ වෙලා.

වාහන අරන් යන්න පොලිසියෙන් ආපු හැටි දැකපු අය කියන්නේ, “වාහන ඇදගෙන යන්න කළින් පොලිසියේ අයට ඒකට හරියන ට්‍රේනිං එකයි, හරියට වාහනයක් උස්සන් යන්න පුළුවන් ටෝවිං ට්‍රක් (Towing Trucks) ටිකයි දීලා හිටියා නම් නේද හොඳ?” කියලායි.

අන්තිමේදී නීතිය රකින්න ගිහින් මහජනතාවගේ ලක්ෂ ගණන් වටිනා වාහනවලට වෙච්ච අලාභයට දැන් වගකියන්නේ කවුද කියන එක මහනුවර පුරාම ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.