August 30, 2026

සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට සලකන ආකාරය පිළිබඳව පාකිස්ථාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ චරිත රැසක් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පටන් ගෙන තිබේ.

1992 ලෝක කුසලාන ජයග්‍රාහී පකිස්ථාන කණ්ඩායමේ නායකයා වූ ඉම්රාන් ඛාන් වෙනුවෙන් මෑතකදී ජාවෙඩ් මියැන්ඩාඩ් කළ හැඟීම්බර ඉල්ලීමෙන් පසුව, හිටපු නායක මොයින් ඛාන් ද ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. 1992 ලෝක කුසලාන ජයග්‍රහණයේදී ඉම්රාන් සමඟ ක්‍රීඩා කළ මොයින් ඛාන්, තම හිටපු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් ඔහුට සුදුසු වෛද්‍ය පහසුකම් හිමිවිය යුතු බව අවධාරණය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබලයන් රැසක් මීට පෙර කළ ඉල්ලීම්වලට පසුව පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් ද මේ සඳහා ඉදිරිපත් වීම කැපීපෙනෙන සිදුවීමකි. සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ක්ලයිව් ලොයිඩ් සහ ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ඇතුළු හිටපු අන්තර්ජාතික නායකයන් පිරිසක් ද ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන බවට වගබලා ගන්නා ලෙස පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට අමතරව ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ද ප්‍රකාශ කළේ, හිටපු පාකිස්ථාන නායකයාට ගෞරවාන්විතව සැලකීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

2023 වසරේ සිට සිරගත කර සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පිළිබඳව ඔහුගේ පවුලේ අය සහ ආධාරකරුවන් නිරන්තරයෙන් කනස්සල්ල පළකරති. කෙසේවෙතත්, ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇති බවට කෙරෙන චෝදනා පාකිස්ථාන බලධාරීහු ප්‍රතික්ෂේප කරති.

1992 වසරේදී පකිස්ථානයට එකම එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර දෙමින් රටේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයකු වූ ඉම්රාන් ඛාන්, පසුව දේශපාලනයට පිවිස 2018 සිට 2022 දක්වා පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස ද කටයුතු කළේය.