August 29, 2026

ඔස්ට්‍රියාවේ වියානා නුවර සුප්‍රකට ‘MAK’ කෞතුකාගාරය හොල්ලමින්, ඩොලර් මිලියන 4කට වඩා (ශ්‍රී ලංකා රූපියල් කෝටි 120කට අධික) වටිනා අතිශය දුර්ලභ රාජකීය දියමන්ති මාලයක් මහදවල් මංකොල්ලකා පළාගිය අන්තර්ජාතික හොරු දෙදෙනෙකු සොයා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍ය නැරඹුම්කරුවන් ලෙස ප්‍රවේශ පත්‍ර පවා ලබාගෙන කෞතුකාගාරය ඇතුළට රිංගා ඇති මෙම සැකකරුවන් දෙදෙනා, සියල්ලන්ම බලා සිටිද්දී එකපාරටම ආරක්ෂිත වීදුරු ආවරණය කුඩු පට්ටම් කර දැවැන්ත දියමන්ති මාලය සොරාගෙන පළාගිහින්.

කැරට් 200කට වඩා බරින් යුත්, දියමන්ති 600කට අධික සංඛ්‍යාවකින් සහ ප්ලැටිනම්වලින් නිමවා ඇති මෙම මාලය, 1939 වසරේදී ඊජිප්තුවේ නාස්ලි අගරැජින විසින් පැළඳ සිටි අතිශය ඓතිහාසික රාජකීය ආභරණයක්.

කොල්ලකරුවන්ගෙන් එක් අයෙක් අත සැබෑ ගිනිඅවියක් තිබූ බවට සැකකෙරෙන අතර, වාසනාවකට මෙන් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

මුහුණු පවා ආවරණය නොකර ඉතා සුක්ෂම ලෙස මෙම මංකොල්ලය සිදුකර ඇති අතර, සැකකරුවන් නගරයේ උද්‍යානය දෙසට පළායන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.

මේ වන විට නගරය පුරා විශේෂ පොලිස් සුනඛයන් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මෙම සිදුවීමත් සමඟ සමස්ත යුරෝපයේම කෞතුකාගාරවල ආරක්ෂාව පිළිබඳව දැඩි සංවාදයක් ගොඩනැගිලා.