August 29, 2026

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධව පොලිසියට මගහරිමින් සිටි තවත් චීන ජාතිකයන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි 23 වැනිදා වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇතිවූ දරුණු ගැටුමකින් පසුව මෙම පැහැරගැනීම සිදුවී තිබූ අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර පසුව ඇහැලියගොඩ කැලෑබද ප්‍රදේශයකින් සොයාගන්නා ලදී.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණද, සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිසිය මහජන සහාය ද ඉල්ලා සිටියේය.

ඒ අනුව ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසය, ඊයේ (28) සීගිරියේ අවන්හලක සැඟව සිටි මෙම චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.