August 29, 2026

2015 ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් දේශපාලන හිතවතුන් අතර බීජ බඩඉරිඟු බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහන් කළේ, සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කරන ලෙසයි. ඒ අනුව, නියමිත දිනට මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ පෙනීසිටි හිටපු අමාත්‍යවරයාට නියෝග කළේය.

2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා රුපියල් මිලියන 25ක රජයේ ප්‍රතිපාදනවලින් ලබාදුන් බීජ බඩඉරිඟු, 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි තකා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් බෙදාහැරීම හරහා රජයට පාඩු සිදුකිරීමේ චෝදනා මත ඉකුත් ජූලි 4 වැනිදා අල්ලස් කොමිසම විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.