August 29, 2026

වෙනත් යුවළක් වෙනුවෙන් කළලයක් සිය ගැබ තුළ දරා සිටින අතරතුරදීම, ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්, ස්වාභාවිකව පිළිසිඳ ගැනීමක් හරහා සම්පූර්ණයෙන්ම වෙනස් ජීව විද්‍යාත්මක මාපියන් සහිත නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර තිබේ.

මෙම අතිශය දුර්ලභ පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනි. එහිදී 27 හැවිරිදි මෙම කාන්තාව, දරුවකු ප්‍රසූත කිරීමට නොහැකිව සිටි යුවළක් වෙනුවෙන් පරිත්‍යාගශීලී සුරක්ෂිත ගැබ්දැරීමේ පදනම මත දරුවකු ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව අදාළ යුවළට අයත් කළලයක් 2025 අප්‍රේල් මාසයේදී ඇගේ ගර්භාෂය තුළ තැන්පත් කර තිබේ.

කෙසේවෙතත්, එම කාලසීමාවේදීම අදාළ කාන්තාව සිය සැමියාගෙන් ද ස්වාභාවිකව ගැබ්ගෙන ඇත.

කළලය තැන්පත් කර සති දෙකකට පමණ පසු සිදු කළ ස්කෑන් පරීක්ෂණයකදී ඇගේ ගැබ තුළ දරුවන් දෙදෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.

පසුව සිදු කරන ලද ජාන පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ, ගැහැණු දරුවා අදාළ යුවළගේ ජීව විද්‍යාත්මක දරුවා බවත්, පිරිමි දරුවා ගැබ්බර කාන්තාවගේ සහ ඇගේ සැමියාගේ ජීව විද්‍යාත්මක දරුවා බවත්ය.

2025 නොවැම්බර් මාසයේදී දරුවන් දෙදෙනාම ප්‍රසූත කර ඇති අතර, දරුවන්ගේ අයිතිය සම්බන්ධයෙන් පවුල් දෙක අතර කිසිදු ආරවුලක් ඇති නොවූ බැවින්, එතැන් සිට දෙපිරිසම තමන්ගේ ජීව විද්‍යාත්මක දරුවාව වෙන වෙනම හදාවඩා ගනිති.

කෙසේවෙතත්, මෙම අසාමාන්‍ය සිදුවීම හේතුවෙන් නීතිමය ගැටලුවක් මතුව තිබේ. ඊට හේතුව ක්වීන්ස්ලන්ඩ් හි සුරක්ෂිත ගැබ්දැරීමේ නීතිවලට අනුව, බහු-උපත් (නිවුන් ආදී) මගින් බිහිවන ‘එකට උපන් සහෝදරයන්’ වෙනස් දෙමාපිය නියෝග හරහා වෙන්කිරීම සාමාන්‍යයෙන් තහනම් කර තිබීමයි.

මෙම නඩුව ක්වීන්ස්ලන්ඩ් හි ළමා අධිකරණය හමුවට ඉදිරිපත් වූ අතර, එහිදී විනිසුරු ජෝඩි වූල්ඩ්‍රිජ් තීන්දු කර ඇත්තේ, මෙම පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනා ‘ගර්භණී නිවුන් දරුවන්’ වුවද, පවතින සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අදාළ නීතියට අනුව ඔවුන් ‘එකට උපන් සහෝදරයන්’ ලෙස නොසැලකෙන බවයි. එම තීන්දුවත් සමඟ දෙමාපිය අයිතිය නිල වශයෙන් පිළිගැනීමට අවස්ථාව හිමිව ඇත.

එමෙන්ම, ස්ථාවර සහ ආදරණීය පවුල් තුළ හැදී වැඩෙන්නේ නම්, දරුවන් දෙදෙනා වෙන වෙනම හදාවඩා ගැනීම මගින් පමණක් ඔවුන්ට මානසික හානියක් සිදුවීමට ඇති ඉඩකඩ අඩු බව ස්වාධීන උපදේශකවරයකු ද අධිකරණයට දැනුම් දී ඇත.

දරුවන් දෙදෙනා එකිනෙකා හඳුනාගනිමින් එකට හැදී වැඩෙනු ඇති බවත්, ඔවුන්ගේ උපත පිටුපස ඇති මෙම අසාමාන්‍ය පසුබිම වයසට සරිලන පරිදි ඉදිරියේදී දරුවන්ට වටහා දෙන බවත් පවුල් දෙකම ප්‍රකාශ කර තිබේ.