August 29, 2026

ශ්‍රී ලංකාවේ දිනපතා පුද්ගලයන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් මියයෑම සඳහා මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතය හේතුවන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝජ් ප්‍රනාන්දු පවසයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ඊයේ (28) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ දිනපතා මෙතරම් වැඩි මරණ සංඛ්‍යාවකට වගකිව යුතු වෙනත් තනි පුද්ගල සාධකයක් නොමැති බව මහාචාර්ය ප්‍රනාන්දු පැවසීය.

මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ අතුරින් ප්‍රධානතම හේතුව ලෙස දුම්පානය හඳුන්වා දුන් ඔහු, මද්‍යසාර භාවිතය නිසා පමණක් දිනකට පුද්ගලයින් 10ත් 15 අතර සංඛ්‍යාවක් මියයන බව පෙන්වාදුන්නේය.

එසේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට අනතුරු ඇඟවූ ඔහු, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන මග බොහෝ විට ආරම්භ වන්නේ නීත්‍යානුකූලව ලබාගත හැකි ද්‍රව්‍යවලින් බව අවධාරණය කළේය.

“හෙරොයින් භාවිතා කරන බොහෝ දෙනෙක් ඊට පෙර දුම්වැටි භාවිතා කර තිබූ බව පෙන්වාදීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා” යැයි මහාචාර්ය ප්‍රනාන්දු පැවසීය.

විවිධ මත්ද්‍රව්‍ය භාවිතය අතර පවතින සබඳතාව පෙන්වාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගංජා භාවිත කරන බොහෝදෙනෙකු ඊට පෙර මද්‍යසාර හෝ දුම්වැටි භාවිත කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ මේ දේවල් සඳහා දොරටුව විවෘත කරන ප්‍රධාන මත්ද්‍රව්‍යය තමයි දුම්පානය. හේරොයින් භාවිතා කරන බොහෝ දෙනෙක් ඊට පෙර දුම්වැටි භාවිතා කර තිබූ බව පෙන්වා දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. ඒ වගේම ගංජා භාවිතා කරන බොහෝ දෙනෙක් ඊට පෙර මද්‍යසාර හෝ දුම්වැටි භාවිතා කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.