August 28, 2026

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදාවෙන් මියගිය 390කට වැඩි පිරිසකගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව නේපාල සහ චීනයේ ටිබෙට් කලාපීය බලධාරීහු පවසති.

අතුරුදන් වූවන් සොයා මුදාගැනීමේ කණ්ඩායම් බ්‍රහස්පතින්දා දිනයේදීත් දැඩි මඩ සහිත ප්‍රදේශ ඔස්සේ සෙවුම් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, නේපාලයෙන් පමණක් අවම වශයෙන් පුද්ගලයින් 389 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. අසල්වැසි ටිබෙට් කලාපයෙන් ද මරණ 3ක් වාර්තා වේ.

තොරතුරු වාර්තා වූ වහාම, චීන අගමැති ලී ච්‍යං බ්‍රහස්පතින්දා පස්වරුවේ ටිබෙටයේ නායයාම සිදු වූ ස්ථානය වෙත ගොස් හදිසි මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය.

නේපාල සංචාරක දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්තවලට අනුව, බදාදා උදෑසන සිට රටවල් 34කට අයත් සංචාරකයින් 668 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර, ඔවුන්ගෙන් බහුතරය කඳු නැගීමේ සංචාරවල නිරත වූවන් ය.

මෙලෙස අතුරුදන් වූවන් අතර ඉන්දියානුවන් 177 දෙනෙකු, ඇමරිකානුවන් 90 දෙනෙකු, ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනෙකු සහ කැනඩා ජාතිකයන් 25 දෙනෙකු වන බව සඳහන් වේ. මීට අමතරව නේපාලයේදී අතුරුදන් වූවන් අතර චීන ජාතිකයන් 100 දෙනෙකු ද වන බව බීජිං විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ටිබෙටයේ ගිරොං ප්‍රාන්තයේ පමණක් විදේශිකයන් 260 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදන් වී ඇති බව චීනයේ CCTV රාජ්‍ය නාලිකාව වාර්තා කරයි.

විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට ළඟාවීම සහ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයක් වී ඇති බවත්, ඊට ප්‍රධානතම හේතුව ප්‍රදේශයේ මාර්ග සහ පාලම්වලට දැඩි ලෙස හානි සිදුවීම බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් හැකි ඉක්මනින් රෝහල් වෙත ගෙන ඒම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ හෙලිකොප්ටර් යානා රැසක් සේවයේ යොදවා ඇති අතර අස්ථි බිඳී යාම් සහ සමේ පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් රැසක් මේ වන විටත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

ලසා සහ කත්මණ්ඩු අතර ගමන් කරන සංචාරකයින් සහ වන්දනාකරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය, ප්‍රවේශ වීමට දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිරවී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් සොයා සෙවුම් මෙහෙයුම් කිරීමට සහ ඔවුන් වෙත හදිසි සහනාධාර අහසින් හෙළීමට නේපාල බලධාරීන් විසින් හෙලිකොප්ටර් යානා යොදවා ඇත.

මේ අතර, ගංවතුර ඇති වූ ස්ථානයේ නිර්මාණය වී ඇති තාවකාලික ජලාශයක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, එය ඕනෑම මොහොතක පිටාර ගැලීමේ/පුපුරා යාමේ දැඩි අවදානමක් පවතින බවත් නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවීය.