August 28, 2026

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වන සංශෝධනය’ නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල ගැටලු මතුවන බැවින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතිපත්තිමය පදනමක සිට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් අභියෝගයට ලක්කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක දක්වා ඇත්තේ, මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, 2026 දෙසැම්බර් 1 වන දින ධුර කාලය අවසන් වීමට නියමිත ගරු අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ වන බැවින්, එම සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා වන්නේ ද අගවිනිසුරුවරයා බවයි. එමෙන්ම, මේ දිනවල අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වන අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද පදනම් විරහිත ප්‍රහාර එල්ල වෙමින් පවතින බව එහි සඳහන් වේ.

අධිකරණය යනු ද නීත්‍යනුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු ආයතනයක් බව පෙන්වා දෙන නීතිඥ සංගමය, විනිසුරුවරුන්ගේ හැසිරීම් හෝ නඩු තීන්දු පිළිබඳ කරුණු මත පදනම් වූ සාධාරණ විවේචන සිදුකළ හැකි බව පවසයි. යම් හෙයකින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරයෙකුට එරෙහිව විශ්වසනීය චෝදනා මතුවන්නේ නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය ඔස්සේ වෘත්තීය මට්ටමින් විමර්ශනය කළ යුතු බව ද සඳහන් කරයි.

තහවුරු නොකළ චෝදනා සහ පුද්ගලික ප්‍රහාර මඟින් මුළු යූක්ති පද්ධතිය කෙරෙහි පවතින ජනප්‍රසාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටෙන බව පෙන්වාදෙන නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය යනු කිසිදු පුද්ගලයෙකු නීත්‍යනුකූල විමර්ශනයෙන් ආරක්ෂා කිරීමට ඇති එකක් නොව, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ආවරණයක් බව වැඩිදුරටත් අවධාරණය කරයි.

එබැවින් අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසඳලීමේ පද්ධතියට ගරු කරන ලෙසත්, යම් ගැටලුවක් පවතින්නේ නම් එය නීත්‍යනුකූල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටිය ඔස්සේ පමණක් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයේ සියලු අංශවලින්, අදාළ පාර්ශ්වවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියි.