August 27, 2026

‘The Rocky Horror Picture Show’ සංගීතමය චිත්‍රපටයේ Frank-N-Furter නමැති චරිතය රඟදක්වමින් ලෝකප්‍රකට වූ ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ටිම් කරි ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඔහු 80 වන වියෙහි පසුවිය.

1975 දී තිරගත වී අතිශය ජනප්‍රියත්වයට පත් ‘The Rocky Horror Picture Show’ චිත්‍රපටයට පෙර ඔහු එම චරිතය වේදිකා නාට්‍යයක් ලෙස ද නිරූපණය කර තිබිණි.

ස්ටීවන් කින්ග්ගේ ‘It’ (1990) රූපවාහිනී කතා මාලාවේ Pennywise නමැති භයානක ක්ලෝන්ගේ චරිතය මෙන්ම 1996 දී ‘Muppet Treasure Island’ හි Long John Silver චරිතය ද ඔහු විසින් අති සාර්ථක ලෙස නිරූපණය කරන ලදී.

මීට අමතරව Annie, The Hunt for Red October, Home Alone 2, Scary Movie 2 වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඔහු බ්‍රෝඩ්වේ හි ටෝනි සම්මාන 3ක් සඳහා ද නිර්දේශ විය.

1946 දී වොරින්ටන් හි උපත ලැබූ කරි, 1968 දී ‘Hair’ නමැති රොක් සංගීතමය නාට්‍යයෙන් සිය ප්‍රථම වෘත්තීය රංගන ජීවිතය ආරම්භ කළේය.

2012 වසරේදී ඔහු බරපතළ ලෙස පක්ෂඝාත තත්ත්වයකට ගොදුරු වීම නිසා රෝද පුටුවක් භාවිත කිරීමට සිදුවූ අතර, පසුව ඔහු ප්‍රධාන වශයෙන් හඬ කැවීම් සේවා සඳහා දායක විය.

මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, ඔහු යම් කාලයක සිට රෝගාතුරව පසුවූ බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසේදී ඔහු අඟහරුවාදා සන්සුන් ලෙස අවසන් හුස්ම හෙළූ බව ඔහුගේ කළමනාකරු තහවුරු කර සිටියි.