August 27, 2026

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකොබ්ට එරෙහිව වත්කම් ප්‍රකාශ නොකිරීමේ චෝදනා මත නඩු පවරා තිබේ.

මෑත කාලයේදී මැලේසියාවේ හිටපු අගමැතිවරුන් තිදෙනෙකුටම දූෂණ විරෝධී චෝදනා එල්ල වී ඇති අතර, ඔහු මෙලෙස නීතිය හමුවට පැමිණි තෙවැන්නා වේ.

දේශපාලන කැළඹිලි සහිත සමයක 2021 සිට 2022 දක්වා මාස 15 ක කෙටි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉස්මයිල් සබ්රිට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ දේශීය හා විදේශීය මුදල්, රත්රන් සහ රිදී අඩංගු වත්කම් සඟවන ලද බවටයි.

ක්වාලා ලාම්පූර් හි පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉස්මයිල් සබ්රිගේ විත්ති පක්ෂ නීතිඥ අමර් හම්සා අර්ෂාඩ් කියා සිටියේ, මෙම චෝදනාව මූලික වශයෙන් වත්කම් ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කළ දැනුම්දීමකට අනුකූල නොවීම සම්බන්ධයෙන් එල්ල වූවක් බවයි.

“අපි චෝදනාව ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. අධිකරණය හමුවේද අප පැහැදිලි කළ පරිදි, මෙම චෝදනාවේ නීත්‍යානුකූලභාවය සහ නිසි පටිපාටිය සම්බන්ධයෙන් අපට යම් යම් ගැටලු තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වන්නේ නැහැ,” යනුවෙන් නීතිඥවරයා පැවසීය.

අද කුලාලම්පූර්හි මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ඉස්මයිල් සබ්රි තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, පසුව රිංගිට් 300,000 ක ඇප මත මුදා හැරිණි. මෙම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට වසර පහ දක්වා සිරදඬුවමක් සහ රිංගිට් 100,000 දක්වා දඩයක් හිමිවිය හැකිය.

මැලේසියානු දූෂණ විරෝධී නියෝජිතායතනය පසුගිය වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශ කළේ, ඔහුට සම්බන්ධ යැයි කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 40 කට ආසන්න වත්කම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දූෂණ හා මුදල් විශුද්ධිකරණ විමර්ශනවල කොටසක් ලෙස වත්කම් ප්‍රකාශ කරන ලෙස කළ නියෝගයට අනුව ඉස්මයිල් සබ්රි වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවයි. එකල සිදුකළ වැටලීම්වලදී විවිධ විදේශීය මුදලින් රිංගිට් මිලියන 170 ක මුදලක් සහ කිලෝග්‍රෑම් 16 ක රත්රන් ප්‍රමාණයක් සොයාගත් බව එම නියෝජිතායතනය සඳහන් කළේය.

නීතිඥවරයෙකු වන ඉස්මයිල් සබ්රි, අගමැතිවරුන් තිදෙනෙකු යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස ග්‍රාමීය හා ප්‍රදේශ සංවර්ධන, කෘෂිකර්ම සහ දේශීය වෙළඳ ඇතුළු විවිධ අමාත්‍යාංශ නියෝජනය කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.