August 26, 2026

ලොව පස්වතාවක් චෙස් ශූරතාව දිනූ නෝවේජියානු සුපිරි ක්‍රීඩක මැග්නස් කාල්සන් පරාජය කිරීමට 15 හැවිරිදි ඉන්දීය යොවුන් චෙස් ක්‍රීඩක වන්දන් අලන්කාර් සවායි සමත්ව තිබේ. ඒ Chess.com හරහා පැවැත්වුණු ‘Titled Tuesday’ අන්තර්ජාල චෙස් තරගාවලියේ දෙවැනි වටයේදීය.

ලකුණු 2,823ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිතව තරගයට පිවිසි කාල්සන්ට එරෙහිව සුදු ඉත්තන්ගෙන් තරග කළ වන්දන්, නියමිත පියවර 50ක් ඇතුළත මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය.

තරගය ආරම්භයේදී Giuoco Piano ශෛලියෙන් ඉදිරියට ගිය අතර, 26 වැනි පියවරේදී කාල්සන් විසින් සිදුකරන ලද බරපතල අතපසුවීමක් ප්‍රයෝජනයට ගනිමින් වන්දන් තරගයේ ආධිපත්‍යය තමුන් සතුකර ගත්තේය.

මෙම ජයග්‍රහණය ලබා ගන්නා විට වන්දන්ගේ ශ්‍රේණිගත කිරීම පැවතුණේ ලකුණු 2,288ක් වැනි පහළ මට්ටමකය.

වඩාත් පුවත් මවන කරුණ වන්නේ මෙම අදහාගත නොහැකි ජයග්‍රහණය පිළිබඳව වන්දන් තම දෙමාපියන්ට හෝ වහාම පවසා නොතිබීමයි.

පියා විසින් තරගාවලියේ තොරතුරු විමසන තෙක්ම ඔහු ලෝක ශූරයා පරාජය කළ බව නිවසට පවසා නොතිබූ අතර, ඔහුගේ මව වන ආචාර්ය මාධුරී පවසන්නේ වන්දන් මෙම තරගාවලියට ක්‍රීඩා කළේ ඔවුන්ගේ බලපෑම මත බවයි.

පසුවදා වන තෙක්ම ඔහුගේ පුහුණුකරු ගුර්ප්‍රීට් පාල් සිං පවා මෙම ජයග්‍රහණය ගැන දැන සිටියේ නැත.

වෙහෙසකර බව පැවසූ වන්දන් වට 4කට පසුව තරගාවලියෙන් ඉවත් වුවද, එම වට 4 ඇතුළත ජයග්‍රහණ 3ක් වාර්තා කිරීමට සමත් විය.

අනාගතයේදී අන්තර්ජාතික මාස්ටර් (International Master) ශූරතාව දිනාගැනීම තම මූලික අරමුණ බව පවසන මෙම යොවුන් ක්‍රීඩකයා, ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වයි.