August 26, 2026

අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පුද්ගලයකුට පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන්, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පදනම් කරගනිමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අගෝස්තු 24 වැනිදා රාත්‍රියේ සිය පියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් ඔහුට දැඩි ලෙස පහර දී ඇති බව එම පුද්ගලයාගේ පුත්‍රයා චෝදනා කර සිටියි.

පුත්‍රයාගේ ප්‍රකාශයට අනුව, ඔහුගේ පියා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නිවසේ සිට මීටර් 100ක් පමණ දුරැකදී නවත්වා පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇත. හැඳුනුම්පත පෙන්වීම සඳහා ආසන්නයේ පිහිටි නිවස වෙත නිලධාරීන් කැඳවාගෙන යෑමට පියා ඉදිරිපත් වූ නමුත්, ඔහුට බැනවැදී පහර දී ඇති බවට ඔහු චෝදනා කළේය.

පොලිස් ස්ථානය තුළදී ද සිය පියාට පහර දී, ගිනිඅවියකින් තර්ජනය කර, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වළක්වා ඇති බවට පුත්‍රයා වැඩිදුරටත් චෝදනා කළේය.

සිය පියා ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් කනස්සල්ලට පත්ව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු තුවාල ලබා ලේ ගලමින් සිටිනු දුටු බව ඔහු පැවසීය. එම අවස්ථාවේදී පියා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කරන ප්‍රකාශය පවුලේ අය ප්‍රතික්ෂේප කරති.

කෙසේවෙතත්, පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙනස් ප්‍රකාශයක් ලබා දී ඇත.

පොලිසියට අනුව, අගෝස්තු 24 වනදා රාත්‍රියේ මාර්ගයක මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පළායාමට උත්සාහ කළ බවත්, එහිදී ඇද වැටීමෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ දැක්වෙන ලේ ගලන තුවාල සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව අගෝස්තු 25 වැනිදා මෙම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂා කළ බව පොලිසිය ප්‍රකාශ කළේය. පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

නිලධාරීන්ට එරෙහිව නැගී ඇති චෝදනාවලින් අනතුරුව, පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් වන ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට බාහිරව සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණය පවත්වන බව පොලිසිය පැවසීය.

එම පුද්ගලයාගේ තුවාල සිදුවූ ආකාරය සහ පවුලේ අය සහ පොලිසිය ලබා දී ඇති පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.