August 25, 2026

පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය තවදුරටත් බලවත් වීමත් සමඟ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාව තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඉදිරි මාස හය සඳහා සිදුකළ දත්ත විශ්ලේෂණයන්ට අනුව එම කාලසීමාව තුළ සාමාන්‍යයෙන් ලැබෙන ධාරානිපාත වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පැවසීය.

“සාමාන්‍යයෙන් අපේ රටේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක්ම ලැබෙන්නේ මේ මාස දෙකේදියි. එම ප්‍රමාණය තවත් වැඩි වුවහොත් අධික වර්ෂාව නිසා ජලාශ පිරී ඉතිරී ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට මුළු දිවයිනටම වැසි පැතිර යනවා. ඒ අනුව තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගංවතුරක් ස්ථිරවම එනවා කියා කියන්න බැරි වුණත්, අපි ඒ සඳහා සූදානම් වී සිටීම අත්‍යවශ්‍යයි. එවැනි ඉඩකඩක් තිබෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගංවතුර තත්ත්වයක් ඇතිවීම පිළිබඳ ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි වුවද, පූර්ව ආරක්ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, එළඹෙන දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවලදී එල් නිනෝ තත්ත්වයේ බලපෑම උපරිම මට්ටමකට පැමිණිය හැකි බවත්, එමඟින් තවදුරටත් දැඩි විපරීත කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.