August 25, 2026

ලබන සැප්තැම්බර් මස අග සිට ක්‍රියාත්මක වන වසරක ව්‍යාපෘතියක් යටතේ කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා දැනට පවතින සියලුම මෙට්‍රෝ බස් රථ 121ම යෙදවීමට අපේක්ෂා කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මෙට්‍රෝ බස් රථ 10ක් යොදවමින් ආරම්භ කළ මූලික බස් රථ සේවාව මගින් මේ වන විටත් මහජනතාවට විශාල බලපෑමක් කිරීමට හැකි වී ඇති බවත්, එය තවමත් නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් සැලකිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව, ලබන වසරේ සිට ගාලු, මහනුවර සහ යාපනය යන නගර සඳහා ද මෙට්‍රෝ බස් රථ සේවාව හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාමාන්‍ය බස් රථ භාවිත කරන මගීන් මෙට්‍රෝ බස් සේවාව වෙත ආකර්ෂණය කරගැනීමට වඩා, දැනට පෞද්ගලික වාහන භාවිත කරන පිරිස් පොදු ප්‍රවාහන සේවාවන් වෙත යොමු කරවා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන බවයි.

කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් රථ නැවතුම්පොළවල් 240ක් පමණ හඳුනාගෙන ඇති අතර, එම සෑම ස්ථානයකම ‘Park and Ride’ ක්‍රමවේදය පහසු කිරීම සඳහා කටයුතු යොදා ඇත. ඒ අනුව මගීන්ට තම මෝටර් රථ හෝ යතුරුපැදි එම ස්ථානවල නවතා මෙට්‍රෝ බස් රථ මගින් ගමනාන්තය දක්වා ගමන් කිරීමේ පහසුකම හිමි වේ.

හඳුනාගත් බස් රථ නැවතුම්පොළවල් ආසන්නයේ ඇති ඉඩම් හිමියන්ට, ව්‍යාපාරිකයන්ට සහ පළාත් පාලන ආයතනවලට මෙට්‍රෝ බස් රථ භාවිත කරන්නන් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ස්ථාපනය කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

එවැනි වාහන නැවැත්වීමේ ස්ථාන සකස් කළ යුතු ආකාරය පිළිබඳව මෙට්‍රෝ ආයතනය විසින් මූලික මාර්ගෝපදේශ සපයනු ලබන අතර, එම ස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම අදාළ පළාත් පාලන ආයතනවල වගකීමක් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිරි මාස කිහිපය තුළ ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට නියමිත අතර, එමගින් මෙට්‍රෝ බස් රථ නැවතුම්පොළවල් ආසන්නයේ ලියාපදිංචි කර ඇති වාහන නැවැත්වීමේ ස්ථාන සහ එහි ඇති ඉඩකඩ පිළිබඳ තොරතුරු සජීවීව ලබාගත හැක. මෙමගින් මගීන්ට නිවසින් පිටත්වීමට පෙර වාහන නැවැත්වීමේ ඉඩකඩ පරීක්ෂා කර බැලීමට මෙන්ම, අදාළ ස්ථානය පිරී ඇත්නම් විකල්ප ස්ථානයක් තෝරා ගැනීමට ද හැකියාව ලැබේ.

වාහන නැවැත්වීමේ ගාස්තු අදාළ පළාත් පාලන ආයතන විසින් තීරණය කරනු ලබන අතර, ඒ සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් සැලසීමට ද පියවර ගැනෙනු ඇත.

පෞද්ගලික වාහන භාවිත කරන්නන් පොදු ප්‍රවාහන සේවයට යොමු කරවීම සඳහා හඳුනාගත් බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් ස්ථාපනය කිරීම මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.