August 25, 2026

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහිව පවතින බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාවට අදාළව, රජයේ රසපරීක්ෂකවරයා විසින් සිය නිල වාර්තාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනුකර තිබේ (නඩු අංක: B 22424/ 2026). මෙම වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ද යොමුකර ඇත.

එම වාර්තාවට අනුව දැරිය විසින් පෙන්වන ලද, ආවාස ගෙයි ඇඳ පාමුල තිබී නිට්ටඹුව පොලිසිය භාරයට ගත් පාපිස්සේ දෙපැත්තේම සැකකාර හේමරතන භික්ෂුවගේ ශුක්‍රාණු තිබූ බව තහවුරු වී ඇත.

එසේම අදාළ පාපිස්සේ කිසිදු රුධිර පැල්ලමක් හඳුනාගෙන නොමැත.

තවද, අපරාධ ස්ථානයෙන් සොයාගෙන රස පරීක්ෂකවරයා වෙත යොමුකළ දිගු හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොව, වෙනත් කාන්තාවකට අයත් එකක් බව තහවුරු වී තිබේ.

නිට්ටඹුව පොලිසිය විසින් 2025 මැයි 21 වැනි දින අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවට අනුව, දැරිය ආවාස ගෙයට ගොස් සිද්ධිය වූ ස්ථානය පෙන්වාදෙමින්, එම කුටිය තුළදී තමා බරපතළ ලිංගික හිංසනයට ලක්වූ බවත් එහිදී සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු පිසදැමූ බවත් ප්‍රකාශ කර තිබිණි.

දැනට මෙම නඩුවේ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණය මගින් නියම කරන ලද දැඩි ඇප කොන්දේසි මත පසුවන අතර, එම භික්ෂුවට පනවා ඇති විදෙස් ගමන් තහනම ද තවදුරටත් බලපැවැත්වේ.

නීතිපතිවරයාගේ ඉදිරි උපදෙස් මත නඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

(මුලාශ්‍රය – BBC සිංහල)