August 24, 2026

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21ක් ගොනුකර තිබේ.

විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක සහ තරුණ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙලෙස අලුතින් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ මහාචාර්ය රන්ජන් අබේරත්න ඇතුළු පිරිසක් ද ඊට එරෙහිව පෙත්සම් ගොනුකර තිබිණි.

අදාළ පනත් කෙටුම්පත මගින් ජනතා පරමාධිපත්‍යයට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ, එම කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් ජනමතවිචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.