August 24, 2026

විසා කාලය ඉක්මවා රැඳීසිටීම, වීසා කොන්දේසි කැඩීම සහ ලබාගත් රැකියා කාණ්ඩවලින් පරිබාහිරව වෙනත් රැකියාවල නිරතවීම යන චෝදනා මත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 7,000ක් පමණ ආපසු මෙරටට පිටුවහල් කිරීමට එරට බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.

මෙයින් බහුතරයක් පිරිස පසුගිය ආණ්ඩුව සමයේ නිසි රැකියා කොන්දේසි පිළිබඳ පැහැදිලි බවකින් තොරව ඊශ්‍රායලය වෙත ගිය අය බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම පිරිසට සිය රැකියා අහිමි නොවී එරට රැඳී සිටීමට අවශ්‍ය විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මේ වන විටත් ඊශ්‍රායල බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් සභාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළ අතර, මේ වන විට 30,000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටිති.