August 22, 2026

මිලියන 35 ක් වන විදේශගත ඉන්දීය ප්‍රජාව වෙනුවෙන් හඳුන්වා දුන් විශේෂ විදේශ විනිමය තැන්පතු යෝජනාක්‍රමය ඔස්සේ ඇමෙරිකානු ඩොලර් බිලියන 65 කට අධික මුදලක් ආකර්ෂණය කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව එරට මහ බැංකුව (RBI) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.

අගෝස්තු 21 වන දිනට ලැබී ඇති දත්තවලට අනුව, නේවාසික නොවන විදේශ විනිමය තැන්පතු ලෙස පමණක් ඩොලර් බිලියන 65.397 ක් එක්රැස් වී ඇත.

මීට අමතරව, විදේශීය මුදල් ණය සහ බාහිර වාණිජ ණය ගැනීමේ ක්‍රමවේද හරහා ලැබුණු මුදල් ද එකතු වූ විට සමස්ත විදේශ විනිමය ප්‍රවාහය ඩොලර් බිලියන 72.85 දක්වා ඉහළ යන බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඩොලර් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙල මගින් අවම වශයෙන් ඩොලර් බිලියන 80 ක මුදලක් රට තුළට ගලා එනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති සංජේ මල්හෝත්‍රා සඳහන් කළේය.

FCNR හුවමාරු පහසුකම (swap window) වසා දැමීමේ දිනය මසකින් ඉදිරියට ගෙනෙමින් අගෝස්තු 31 දක්වා සීමා කිරීමට මහ බැංකුව ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. මෙම විශේෂ USD-INR හුවමාරු ක්‍රමය පසුගිය ජූනි 8 වන දින ආරම්භ කරනු ලැබීය.

මහ බැංකුවේ මෙම හදිසි තීරණය සාධාරණීකරණය කළ අධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙය ප්‍රතිපත්තියක් ආපසු හැරවීමක් නොව දත්ත මත පදනම්ව සිදුකළ යාවත්කාලීන කිරීමක් පමණක් බවයි. වාණිජ බැංකු වෙත අවශ්‍ය සූදානම්වීම් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බවත්, තවදුරටත් ඩොලර් හුවමාරු කර ගැනීමෙන් අමතර ප්‍රතිලාභයක් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.