August 23, 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

එම පක්ෂයේ දේශපාලන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ සංශෝධනය සෘජුවම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට බලපාන බැවින් එය පිළිබඳ ජනමතවිචාරණයක් මගින් ජනතාවගෙන් අදහස් විමසිය යුතු බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

22 වනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන ප්‍රධාන වෙනස්කම් අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ දැනට පවතින අවුරුදු 65 විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීම, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ දැනට පවතින අවුරුදු 63 විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීම, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් වැනි පහළ අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ සහ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 (මහාධිකරණ සඳහා 63) දක්වා දීර්ඝ කිරීම යෝජනා කරයි.

මෙම තීරණාත්මක සංශෝධනයන් සම්බන්ධයෙන් රජය විසින් ජනතාවගේ අවසන් තීරණය ලබාගැනීමට කටයුතු කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් කියා සිටියි.