August 23, 2026

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මාසයේ මුල් සතියේදී දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිදුකරන මෙම ප්‍රථම සංචාරයේදී ඔහු, ආරක්ෂක අමාත්‍ය ධුරය ද හොබවන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වසර 5ක කාලයක් සඳහා වලංගු වන මෙම ගිවිසුම මගින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, ආපදා සහන සේවා හුවමාරු, නාවික නෞකා වරාය වෙත පැමිණීම සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව ඉහළ නැංවීම ආදී ක්ෂේත්‍ර රැසක් සංචාරයේදී ආවරණය වේ.

විදුලිබල පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරෙනු ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් යටතේ කන්කසන්තුරේ වරාය නවීකරණය සහ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමටද මෙහිදී පියවර ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.