August 23, 2026

ලබන මාසයේදී ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මෑතක සිදු වූ බන්ධනාගාර නොසන්සුන්තාවන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊට අදාළව ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ නිල ප්‍රකාශය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථීර නියෝජිතවරයා විසින් ඉදිරිපත් කරනු ඇත.

පසුගිය වසරේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ නිරීක්ෂණ බලතල ලබන වසරේ (2027) සැප්තැම්බර් දක්වා දීර්ඝ කළ අතර, ඊට අදාළ පූර්ණ වාර්තාව ලබන වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මතු කළ කරුණු බොහොමයකට රජය පිළිතුරු ලබාදී ඇති බවත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ශක්තිමත් කරමින් ජාති, ආගම් භේදවලින් තොරව කටයුතු කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන අතර, සැප්තැම්බර් 26 වැනිදා මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරේස්ගේ ධුර කාලය දෙසැම්බර් 31න් අවසන් වන බැවින්, නව මහලේකම්වරයා තෝරාගැනීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ වී ඇත.