August 21, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සේවා තීර්ථ හිදී අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නැඟී එන සමාගම් 20 ක ප්‍රධාන විධායක නිලධාරීන් සහ නිර්මාතෘවරුන් හමුවී සාකච්ඡාවක නිරත විය.

එහිදී ඉන්දියාවේ පෞද්ගලික අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනය සහ එහි මතුවෙමින් පවතින නව අවස්ථා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සාකච්ඡාවට එක්වූ සමාගම් රොකට් නිෂ්පාදනය, නැවත භාවිත කළ හැකි ප්‍රක්ෂේපණ යානා, අභ්‍යවකාශ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, කෘතිම උපග්‍රහණ, දියුණු තල්ලු කිරීමේ පද්ධති, අභ්‍යවකාශ හා ආරක්ෂක බුද්ධි තොරතුරු, අභ්‍යවකාශ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම මෙන්ම කෘතිම බුද්ධිය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රදේශීය කාලගුණ සහ දේශගුණික තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියැලී සිටියි.

මෙම හමුවේදී එම සමාගම්වල නායකයින් ඉන්දියාවේ පෞද්ගලික අභ්‍යවකාශ කර්මාන්තය අත්කර ගෙන ඇති ශීඝ්‍ර ප්‍රගතිය පැහැදිලි කළ අතර, එහි ඉදිරි අනාගතය පිළිබඳ සිය දර්ශනය ද ඉදිරිපත් කළහ.

දේශීය තාක්ෂණය සහ හැකියාවන් ඉන්දියාව තුළම සංවර්ධනය කිරීම සඳහා තම සමාගම් විශාල කාලයක් සහ ශ්‍රමයක් කැපකර ඇති බව පැවසූ එම නියෝජිතයෝ, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අග්‍රාමාත්‍යවරයා ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව ද පළ කළහ.