August 22, 2026

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

1943 අගෝස්තු 23 දින අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ ඇය, කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ගුරුවරුන්ගේ මගපෙන්වීමෙන් ගුවන්විදුලියේ ‘ළමා මණ්ඩපය’ වැඩසටහනට සම්බන්ධ වූවාය.

එහිදී ඇය ගැයූ ‘බුදු සාදු’ ගීතය ඇගේ සංගීත දිවියේ විශාල පෙරළියක් ඇති කළේය.

1961 වසරේ තිරගත වූ මෙරට පළමු වර්ණ චිත්‍රපටය වන ‘රන්මුතු දූව’ චිත්‍රපටයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර සමග ‘ගලන ගඟකි ජීවිතේ’ යුග ගීතය ගයමින් සිනමා ගායනයට පිවිසියාය.

පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යයේ ගීතය, පවන, තාරුකා ඇස්, අරලිය ලන්දට, සින්දු හෝඩිය, හේමන්තයේදී ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඇය ගායනා කළ අතර, සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.

ඇගේ අභාවය වෙනුවෙන් රජය විසින් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ ඇගේ දේහයට ඊයේ සිට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.

අද පස්වරු 3.30ට ආරම්භ වූ රිය පෙරහැරකින් දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන ආ අතර, ඇගේ අන්තිම කැමති පත්‍රයට අනුව කිසිදු ගුණකථනයක් හෝ උත්සව සභාවක් නොමැතිව පස්වරු 4.30ට අවසන් කටයුතු සිදු කරන ලදී.