August 22, 2026

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා විශේෂඥ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම, පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපනය ඉහළ නැංවීම, රෝහල් යටිතල පහසුකම් පුළුල් කිරීම සහ නවීන වෛද්‍ය තාක්ෂණය හඳුන්වා දීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 5 වැනි වාර්ෂික අධ්‍යයන සමුළුවට (NEUROSURG 2026) අගෝස්තු 20 වැනිදා කොළඹදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවර සමුළුව ‘ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය විශිෂ්ටත්වය සඳහා සහයෝගී ප්‍රවේශයක්’ යන තේමාව යටතේ පැවැත්වුණු අතර, එය ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වසර 70ක් පිරීම සලකුණු කළ අවස්ථාවක් ද විය.

විශේෂඥ සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම සඳහා මානව සම්පත්, වෛද්‍ය අධ්‍යාපනය, රෝහල් යටිතල පහසුකම් සහ නවීන තාක්ෂණය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ.

තරුණ වෛද්‍යවරුන් ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව වැනි සංකීර්ණ විශේෂඥ ක්ෂේත්‍ර වෙත ආකර්ෂණය කරගැනීම සඳහා සුදුසු පුහුණු වැඩසටහන් සහ යහපත් වැඩබිම් පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

නවීන සෞඛ්‍ය සංවර්ධනය තනි පුද්ගලයෙකුට හෝ එක වෘත්තීය කණ්ඩායමකට පමණක් කළ නොහැකි අතර, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් අතර මනා සහයෝගීතාවක් පැවතිය යුතුය.

මෙම සමුළුව සඳහා දේශීය මෙන්ම විදේශීය ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් රැසක් එක්ව සිටි අතර, ස්නායු ශල්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය සහ අනාගත අභියෝග පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරුක්ෂන් ජයවීර, විශේෂ අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ ගෞරවනීය අමුත්තා ලෙස ආසිරි සර්ජිකල් රෝහලේ ජ්‍යෙෂ්ඨ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.