August 22, 2026

2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මාළු අස්වැන්න ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසයි.

නාරා ආයතනයේ සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බොහෝ රටවල සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු තර්ජනයක් බවයි.

මෙම තත්ත්වය හදිසියේ ඇතිවූවක් නොවන අතර, 2014 වසරේ සිටම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු අස්වැන්න අඩුවීම නිරීක්ෂණය වී ඇත.

මාළු අස්වැන්න අඩුවීමට තනි හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සාගරයේ ජෛව විද්‍යාත්මක පද්ධතියේ සිදුවන වෙනස්කම් ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විශ්වාස කෙරේ.

පවතින එල්නිනෝ තත්ත්වය මෙයට කෙළින්ම බලපාන්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම තත්ත්වය දීර්ඝ කාලීනව පැවතුණහොත්, ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් විකල්ප රැකියා වෙත යොමුකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

මීට පිළියමක් ලෙස මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති නමුත්, එහි දැනට පවතින ප්‍රගතිය පිළිබඳ සතුටු විය නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (NAFSO) කැඳවුම්කරු හර්මන් කුමාර චෝදනා කරන්නේ, තහනම් දැල් සහ විනාශකාරී ධීවර උපකරණ භාවිතය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙලෙස මත්ස්‍ය සම්පත ක්ෂය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.