August 22, 2026

අවුරුදු 13ට අඩු ළමුන්ගේ දත්ත නීති විරෝධී ලෙස රැස් කරමින් ළමා රහස්‍යතා පනත උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා නිරවුල් කරගැනීම සඳහා ඩොලර් මිලියන 400ක දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට TikTok සහ එහි මව් සමාගම වන බයිට්ඩෑන්ස් (ByteDance) ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ එකඟතාවකට පැමිණ ඇත.

මෙය ළමා රහස්‍යතා උල්ලංඝනය කිරීමක් වෙනුවෙන් මෙතෙක් අයකර ගත් විශාලතම වන්දි මුදල්වලින් එකකි.

එකඟතාවට අනුව ටික්ටොක් සමාගමය විසින් වහාම ඩොලර් මිලියන 300ක් ගෙවිය යුතු අතර, ඉතිරි ඩොලර් මිලියන 100 මුදල පසුව ගෙවීමට නියමිතය.

2024 වසරේදී ජෝ බයිඩන් පාලන සමයේදී පවරා තිබූ මෙම නඩුවෙන් කියැවුණේ, දෙමාපිය අවසරයකින් තොරව වයස අවුරුදු 13ට අඩු මිලියන සංඛ්‍යාත ළමුන්ගේ දත්ත මෙම යෙදවුම හරහා ලබාගෙන ඇති බවයි.

නඩුව පවරන අවස්ථාවේදී ඇමෙරිකාව තුළ මිලියන 170ක යොවුන් පරිශීලකයන් සිටි අතර, නඩුවත් සමඟ ටික්ටොක් සමාගම සිය හිමිකාරීත්වය, රහස්‍යතා ප්‍රතිපත්ති සහ තරුණ පරිශීලක පාලන ක්‍රමවේදවල සැළකිව යුතු වෙනස්කම් සිදුකර ඇත.

ක්ෂේත්‍රයේ සෙසු ආයතන සඳහා මෙතෙක් පැනවූ විශාලතම දඩ සැළකීමේදී YouTube සඳහා 2019 වසරේදී ඩොලර් මිලියන 170ක දඩයක්, Epic Games සඳහා 2022 වසරේදී ඩොලර් මිලියන 275ක දඩයක් පනවා තිබිණි.

Meta හි Facebook/Instagram සමාගමට එරෙහිව ද ප්‍රාන්ත 29ක් එකතු වී ළමා රහස්‍යතා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර, එම නඩුවේ විභාගය ද මේ දිනවල ආරම්භ වී තිබේ.

ඊට ඩොලර් බිලියන ගණනක දඩයක් නියම වීමේ අවදානමක් පවතී.

පසුගිය වසරේ සිදුවූ වෙනස්කම්වලට අනුව ටික්ටොක් ඇමෙරිකානු ව්‍යාපාරික කොටස්වලින් 81%ක්ම ඇමෙරිකානු ආයෝජකයන් සතු වන අතර, චීනයේ බයිට්ඩෑන්ස් සමාගම සතුව පවතින්නේ 19%ක කොටස් ප්‍රමාණයකි.