August 21, 2026

හෝටල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් මූල්‍ය වංචා සහ සොරකම් රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතයි.

පොලිසිය සඳහන් කරන පරිදි, මෙම සැකකරු 2026 අගෝස්තු 03 වැනිදා කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පිහිටි හෝටලයක් වෙත පැමිණ, තමා පෞද්ගලික බැංකුවක නිලධාරියකු ලෙස හඳුන්වා දී ඇත.

පසුව රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා පිරිසක් පැමිණෙන බව පවසමින් ඔහු විශාල ආහාර ඇණවුමක් ලබාදී තිබේ.

හෝටලයේ කාර්යබහුල වේලාවක් දෙස බලා සැකකරු විසින් එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරකම් කර පළාගොස් ඇති අතර, ඒ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වය විසින් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු විසින් කුරුඳුවත්ත, පෑලියගොඩ සහ නුගේගොඩ යන පොලිස් වසම්වල පිහිටි ස්ථානවලදී ද මෙලෙසම සොරකම් සිදුකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුගේ ඡායාරූප සහ CCTV දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, ඔහු පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටියි.

සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති වෙත 071-8591561 මගින් හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත 011-2433829 අංක ඔස්සේ දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

නොදන්නා හෝ හඳුනා නොගත් පුද්ගලයන් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේදී වැඩි අවධානයකින් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස පොලිසිය හෝටල් හිමියන්ට, ව්‍යාපාරිකයන්ට සහ මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙයි.