August 21, 2026

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි ශිෆා ඉන්ටර්නැෂනල් රෝහලේ සිට නැවතත් අඩියාලා බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

මේ බව තහවුරු කර ඇත්තේ ඔහු නියෝජනය කරන පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රකාශකයෙකු විසිනි.

වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් කිරීමෙන් අනතුරුව, ඔහු නැවත බන්ධනාගාරය භාරයේ තැබීම සුරක්ෂිත බව වෛද්‍යවරුන් නිර්දේශ කිරීමත් සමඟ මෙලෙස නැවත බන්ධනාගාරය වෙත යවා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

“අක්ෂි වෛද්‍යවරයකු, හෘද රෝග විශේෂඥයකු සහ කායික රෝග විශේෂඥයකු ඇතුළු සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහු පිළිබඳව සවිස්තරාත්මක වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා, ඔහු පූර්ණ වෛද්‍ය සුදුසුකම් සහිත යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තහවුරු කළා,” යනුවෙන් තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් X පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහු නැවත අඩියාලා බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය හේතූන් මත ඉම්රාන් ඛාන්ට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉස්ලාමාබාද් බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයකට අනුව, 73 හැවිරිදි වියේ පසුවන හිටපු අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මධ්‍යම රාත්‍රියේදී රෝහල වෙත ගෙන ගොස් තිබුණි.

එරට ජනමාධ්‍ය වාර්තා අනුව PTI පක්ෂයේ නිර්මාතෘවරයා බන්ධනාගාරයේ සිට රෝහලට සහ ආපසු පැමිණි ගමන ඉතා තදබල ආරක්ෂක විධිවිධාන යටතේ සිදු කර ඇති අතර, මේ වන විට ඔහු නැවතත් ඔහුගේ සිරමැදිරිය වෙත යොමු කර ඇත.

ප්‍රංශ AFP පුවත් සේවයට අනුව, ඉම්රාන් ඛාන් මහතා රෝහලේ රැඳී සිටි කාලය තුළ PTI පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් රෝහල ආසන්නයට රැස්ව සිටියහ.