August 21, 2026

දිවයින පුරා පවතින ‘ෆිල්ග්‍රාස්ටිම්’ (Filgrastim) නැමැති පිළිකා ඖෂධයේ තාවකාලික හිඟය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානකියන් රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

තත්ත්වය සති එකහමාරක් ඇතුළත විසඳීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

2026 ජූලි 28 වැනිදා සපයන ලද එන්නත් මාත්‍රා 160,000ක තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇත.

අදාළ සිරින්ජවල නිර්ණායකවලට අනුකූල ලේබල් අඩංගු නොවීම මීට හේතුවයි.

පවතින හදිසි අවශ්‍යතාව සපයා ගැනීම සඳහා අමතර ඖෂධ තොගයක් ගුවන් මගින් ගෙන්වා දෙන ලෙස සැපයුම්කරුගෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව 2027 වසර සඳහා ටෙන්ඩරය හිමි වූ සැපයුම්කරුගෙන්ද හැකි ඉක්මනින් ඖෂධ ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිතීන්ට අදාළ ලේබල් නොමැතිව පවතින තොග නිකුත් කළ නොහැකි අතර, ප්‍රතික්ෂේප වූ තොග සඳහා නැවත ලේබල් ඇලවීමට අවම වශයෙන් සති 6ක කාලයක් ගතවේ.

මෙම හිඟය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ සැපයුම්කරුගේ ප්‍රමාදයක් නිසා සිදු නොවූවක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

2026 වසරට අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් මාස 9කට පෙර, එනම් 2025 ජනවාරි මාසයේදීම ලබාදී තිබූ අතර, සැපයුම්කරු විසින් මාස 6කට ප්‍රමාණවත් තොගයක් (160,000) ජූලි 28 වැනිදා ලබාදී තිබිණි.

රෝගීන්ගේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ලේබල් නොමැතිව වුවද මෙම ඖෂධය භාවිත කිරීමට අවසර දිය හැකිද යන්න පිළිබඳ පිළිකා රෝග විශේෂඥයන්ගේ සංගමයේ සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන්ගේ සංගමයේ නිර්දේශ මත පදනම්ව තීරණයක් ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.