August 21, 2026

අවස්ථා දෙකකදී රුපියල් 40,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීම සහ රුපියල් 20,000 බැගින් වාරික දෙකකින් එම මුදල ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තාක්ෂණික නිලධාරියෙකු අදාළ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (21) නියෝග කළේය.

සිය නිල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් මෙලෙස අල්ලස් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුට එරෙහිව නඩුව පවරා තිබිණි.

පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකරුගෙන් නිදහසට කරුණු විමසීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව පෙන්වා දුන්නේය.

පැමිණිල්ල මෙහෙයවූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීර්ඝ ලෙස පරික්ෂා කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල බරපතළ පරස්පරතා පවතින බව නිරීක්ෂණය කළේය.

ඒ අනුව, විත්තිකරුට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුගෙන් නිදහසට කරුණු විමසීමකින් තොරවම ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු සමඟ නීතිඥ අංජන අධිකාරම්ගේ සහ නීතිඥ බුද්ධිම කන්නංගර පෙනී සිටියහ.