August 21, 2026

දේශීය වෙළඳපොළට නිකුත් කෙරෙන පලතුරු හනිකර රසායනික ද්‍රව්‍යවලින් තොර බව තහවුරු කිරීම සඳහා විශේෂ සහතික කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇත.

මීට අමතරව ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ පලතුරු ඉදවීම ප්‍රවර්ධනය කිරීමට ද පියවර ගනිමින් සිටියි.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී, සෞඛ්‍යාරක්ෂිත ලෙස පලතුරු ඉදවන මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවා සහතික කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විෂ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව පලතුරු ඉදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ස්ථාපිත කිරීමටත්, නියමු ව්‍යාපෘතියක් ලෙස පලතුරු නිෂ්පාදකයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ආදර්ශ තාක්ෂණික කුටි පිහිටුවීමටත් උපදෙස් දී ඇත.

වෙළඳපොළට පැමිණෙන පලතුරුවල රසායනික ශේෂයන් කෙටි වේලාවකින් හඳුනාගත හැකි ක්ෂණික පරීක්ෂණ කට්ටල හඳුනාගෙන ඒවා මිලදී ගැනීමට පියවර ගැනේ.

විෂ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන, SLS 1767 සහ යහපත් නිෂ්පාදන පුරුදු (GMP) ප්‍රමිතීන්ට අනුකූල වන වෙළෙන්දන් සඳහා විශේෂ සහතිකයක් ලබාදෙන අතර, සහතිකලත් ස්ථානවලින් පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු කරවනු ඇත.

එතිලීන් වායුව භාවිතයෙන් ආරක්ෂිතව පලතුරු ඉදවන කුටි සඳහා ප්‍රමිතීන් සකස් කිරීමටත්, කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්දන්ට ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදීමටත් සැලසුම් කර ඇත.

ගොවීන්, මැදිහත්කරුවන්, පලතුරු වෙළෙන්දන් සහ සුපිරි වෙළඳසැල් ජාල ඇතුළු සමස්ත සැපයුම් දාමයම දැනුවත් කිරීමටත්, යහපත් කෘෂිකාර්මික පුරුදු ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කෙරේ. කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය එක්ව වෙළෙන්දන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වනු ඇත.

මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පසුඅස්වැන්න කළමනාකරණ ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයෝ එක්ව සිටියහ.