August 21, 2026

පසුගිය අගෝස්තු 15 වැනිදා කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ පැවැති යාත්‍රා සාදයකදී වලංගු සුරාබදු බලපත්‍රයකින් තොරව මත්පැන් අලෙවි කිරීම හෝ බෙදාහැරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සේල් ලංකා චාටර් (Sail Lanka Charter – SLC) සමාගම විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත.

පෝට් සිටි පරිශ්‍රය තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාන තුනක සිදුකළ වැටලීම් පිළිබඳ වාර්තා වීමෙන් අනතුරුව එම සමාගම විසින් මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව, එක් වැටලීමක් සිදුකර ඇත්තේ අවශ්‍ය බලපත්‍ර නොමැතිව මත්පැන් රැගෙන මුහුදට ගොස් සාද පවත්වන ලද සුඛෝපභෝගී යාත්‍රාවක් ඉලක්ක කරගනිමිනි.

එහිදී අදාළ මත්පැන් තොගය සමඟ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අගෝස්තු 15 වැනිදා පැවැති මෙම සාදය බාහිර උත්සව සංවිධායකවරයකු විසින් පෞද්ගලික සංගීත සහ විනෝදාස්වාද වැඩසටහනක් වෙනුවෙන් යාත්‍රාව සහ එහි පහසුකම් කුලියට ගෙන සංවිධානය කරන ලද්දක් බව සමාගම පවසයි.

මෙම උත්සවය සංවිධානය කිරීමට, පැවැත්වීමට හෝ එහිදී මත්පැන් මිලදී ගැනීම, සැපයීම, ප්‍රවාහනය, අලෙවි කිරීම හෝ බෙදාහැරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව සමාගම අවධාරණය කරයි.

තමන්ගේ කාර්යභාරය වූයේ ගිවිසුම්ප්‍රකාරව යාත්‍රාව සහ පහසුකම් සැපයීම පමණක් බවත්, පාන වර්ග සැපයීම ඇතුළු උත්සවයේ සියලු වගකීම් සංවිධායකවරයා සතු වන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම් 3කදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කළ ආපනශාලාවක් සහ බියර් සඳහා පමණක් බලපත්‍ර ලබාගෙන වෙනත් මත්පැන් ළඟ තබාගෙන සිටි ආයතනයක් ද මෙම වැටලීම්වලට ලක්විය.

වටිනා මත්පැන්, බියර් සහ වෙනත් මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ඇතැම් ‘Rémy Martin’ මත්පැන් බෝතලයක වටිනාකම රුපියල් 50,000කට අධික බව සුරාබදු නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය බදු සහ සුරාබදු ආදායමට හානි වන බැවින්, මෙලෙස නීතිවිරෝධී ලෙස හෝ බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තමන් හෝ තමන්ගේ සේවකයන් මෙම නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත්, තමන්ගේ සාමාන්‍ය සේවාවන් සහ මෙහෙයුම් බාධාවකින් තොරව සිදුවන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.