August 20, 2026

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා සිදු කළ විමර්ශන වැඩසටහනකදී විශේෂ වැටලීම් 108ක් සිදු කර ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙම පරීක්ෂා කිරීම්වලදී ආනයනය කරන ලද සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඇත.

මෙහිදී රුපියල් මිලියන 1.5 කට ආසන්න වළෙඳපොළ වටිනාකමකින්යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එමෙන්ම අදාළ වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත.

ආනයනික භාණ්ඩ වෙළඳසැලට ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි වැටලීම් සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු අඛන්ඩව සිදු කරන බව ද නිලධාරීන් පවසයි.

මෙම වැටලීම් වලට අමතරව මෙම වසරේ දී ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධව වැටලීම් 785ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරා ඇතැයි ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම, සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් හෝ ඉන්වොයිසියක් සන්තකයේ තබාගත යුතුය. එම ලේඛනය තුළ සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මගින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබේ.