August 20, 2026

කොළඹ වරාය නගරය (Port City) පරිශ්‍රය තුළ අවශ්‍ය සුරාබදු බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මහා පරිමාණ වැටලීම් තුනක් සිදුකර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් පරිදි, සමස්ත ලංකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබේ.

මෙහි එක් වැටලීමක් සිදුකර ඇත්තේ වරාය නගරයේ සිට ක්‍රියාත්මක වූ සුඛෝපභෝගී යාත්‍රාවක් ඉලක්ක කරගනිමිනි.

මත්පැන් අලෙවි කිරීමට හෝ ළඟ තබාගැනීමට සුදුසු බලපත්‍රයක් නොමැතිව, සාද පැවැත්වීම සඳහා විවිධ කණ්ඩායම් මුහුදට රැගෙන යාම මෙම යාත්‍රාව මගින් සිදුකර ඇත. ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් ඇතුළු කණ්ඩායම් වෙනුවෙන් මෙම යාත්‍රාව රුපියල් 40,000 ත් 60,000 ත් අතර මුදලක් අයකර ඇති බව අදාළ නිලධාරියා පැවසීය.

එම ප්‍රදේශයේ රැඳී සිටි සුරාබදු නිලධාරීන් විසින් අදාළ යාත්‍රාව වටලා, වලංගු බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද මත්පැන් තොගයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් වැටලීමකදී, වරාය නගරය තුළ පවත්වාගෙන යනු ලබන ආපනශාලාවක් ඉලක්ක කර ඇති අතර, එහි නිසි බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට තබා තිබූ විශාල මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව, බියර් අලෙවිය සඳහා පමණක් බලපත්‍ර ලබාගෙන, එම බලපත්‍ර සීමාවන් උල්ලංඝනය කරමින් වෙනත් මත්පැන් ළඟ තබාගෙන සිටි තවත් ආයතනයක්ද සුරාබදු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත.

මෙම මෙහෙයුම්වලට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර උසස් තත්ත්වයේ මත්පැන් බෝතල් රැසක් වන අතර ඒ අතර තිබූ ඇතැම් මත්පැන් බෝතල‍යක වටිනාකම රුපියල් 50,000 ඉක්මවන බව නිලධාරියා පැවසීය. ඊට අමතරව බියර් තොගයක් සහ වෙනත් මත්පැන් වර්ගද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

නිතී විරෝධී ලෙස හෝ සුරාබදු බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවැනි නීති විරෝධී ජාවාරම් හේතුවෙන් රජයේ බදු සහ සුරාබදු ආදායමට දැඩි බලපෑමක් එල්ල වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.