August 20, 2026

දකුණු ආසියාවේ මහජන මතය පිළිබඳව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද නවතම ජනමත විචාරණයකින් අපූර්ව තොරතුරක් අනාවරණය වී තිබේ.

එනම් ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් ගත් කල, එම සියලු රටවල ප්‍රසාදය දිනාගත් කලාපයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමයි.

කලාපීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවේ මෙම රටවල් තුන එකඟතාවකට පැමිණෙන්නේ ඉතා කලාතුරකින් වුවද, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනාම එකම මතයක සිටීම විශේෂත්වයකි.

පර්යේෂකයින් වන ජේකොබ් පෝෂ්ටර්, ස්නේහා ගුබ්බාලා සහ විලියම් මයිනර් විසින් 2026 පෙබරවාරි 8 වනදා සිට මැයි 7 වනදා දක්වා කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයින් 3,566 ක්, පාකිස්ථානයේ 1,039 ක්, බංග්ලාදේශයේ 1,044 ක් සහ ශ්‍රී ලංකාවේ 2,513 දෙනෙකු ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය මෙහෙයවා ඇත.

දකුණු ආසියාවේ විශාලතම රටවල් එකිනෙකා දෙස බලන ආකාරය මැන බැලීම මෙහි ප්‍රධාන අරමුණ විය.

එහි ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ පැරණි වෛරී සහ ප්‍රතිපක්ෂ සබඳතාවලින් පිරි කලාපයක් තුළ ශ්‍රී ලංකාව තනිවම වෙනස්ම ස්ථානයක පසුවන බවයි.

ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙස යහපත් කෝණයකින් බලන අතර, කිසිදු රටකින් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාව කෙරෙහි අයහපත් ආකල්පයක් දක්වන්නේ නැත.

ශ්‍රී ලංකාව කෙරෙහි වැඩිම හිතකර බවක් දක්වන්නේ පාකිස්ථානය (57%) සහ බංග්ලාදේශයයි (54%). එමෙන්ම ඉන්දියාවේ යහපත් ප්‍රතිචාරය ද ඉහළ ගොස් ඇති අතර, පිව් ආයතනය අවසන් වරට 2024 දී පැවැත්වූ සමීක්ෂණයට වඩා එය ප්‍රසාද ලකුණු හයකින් වර්ධනය වී තිබේ. සමීක්ෂණයට ලක්වූ වෙනත් කිසිදු රටකට තම අසල්වැසියන් තිදෙනාගෙන්ම මෙවැනි ස්ථාවර සුහදතාවක් හිමිව නැත.