August 20, 2026

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත මගින් විශ්‍රාම යාමෙන් පසුවද වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා ප්‍රතිප්‍රකාශන ඇතුළත් කර ඇත.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තිය සංශෝධනය කිරීම මගින් පුද්ගලයකුට තමා විශ්‍රාම ලැබීමෙන් පසුව වුවද තමාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවේ.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි බවක් ඇති කිරීමට සහ එම වත්කම් බැරකම් ප්‍රකාශයන්හි පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පනතේ 88 වන වගන්තිය සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව, වෙනත් යම් පුද්ගලයකුගේ සංශෝධිත (සංවේදී තොරතුරු) වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් ලබාගන්නා කිසිදු පුද්ගලයකු, මෙම පනත් කෙටුම්පතේ 86 වැනි වගන්තිය යටතේ වන නිලධාරියකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීමට හැර වෙනත් කිසිදු අරමුණක් සඳහා එය භාවිතා නොකළ යුතුය.

යම් පුද්ගලයකුගේ සංශෝධිත වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් එම පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි භාවිත කරන ඕනෑම තැනැත්තකු වරදක් සිදුකරන අතර, මහේස්ත්‍රාත්වරයකු හමුවේ පවත්වන සංක්ෂිප්ත නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ වසරකට නොවැඩි සිරදඬුවමකට හෝ එම දඩය සහ සිරදඬුවම යන දෙකටම යටත් විය යුතුය.

තවද, හිමිකම් සහ ළබැඳියාවන් අතර ගැටුම් ඇතිවන තත්ත්වයන් (Conflicts of Interest) පිළිබඳ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා 2023 දූෂණ විරෝධී පනතේ 84 වන වගන්තිය සංශෝධනය කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ සාමාජිකයන් දහසකට වඩා වැඩි වෘත්තීය සමිති සඳහාද දූෂණ විරෝධී පනතේ නීති අදාළ කිරීමයි.

ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති සහ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22 වන වගන්තිය යටතේ බලපත්‍ර ලබා ඇති ජනමාධ්‍ය සමාගම්වල හිමිකරුවන්ට, සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට ද මෙම නීති අදාළ වනු ඇත.