August 20, 2026

දෙල්ගොඩ, අලුත් නුවරපාරේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු හතක කුඩා දැරියක ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර අගෝස්තු 19 වැනිදා සිදුවී ඇත්තේ බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හදිසියේම දකුණට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙනි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, කාන්තාවන් දෙදෙනකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු උඩුපිල රෝහලට ඇතුළත් කර ඇත.

පසුව රියදුරු, කාන්තාවක සහ අවුරුදු හතක කුඩා දැරියක රෝහලේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු සහ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක සහ ඇගේ 7 හැවිරිදි දියණිය බව පොලිසිය හඳුනාගෙන ඇත.

මෝටර් රථයේ ගමන් කළ තවත් කුඩා දැරියක ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.