August 15, 2026

ඉන්දියාව සහ කුවේටය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දියාවේ කුවේට් තානාපති මිෂාල් මුස්තාෆා අල්-ෂමාලි පවසයි.

ඉන්දියානු ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ විශේෂ ආරාධනාවකට අනුව ජනාධිපති මන්දිරයේ පැවැති ඉන්දියානු නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

කුවේට් රාජ්‍යයේ පදනම් වූ ‘අරාබ් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඉන්දියානු නායකත්වයට සහ ජනතාවට සුබපැතුම් එක් කළ තානාපතිවරයා, ඉන්දියාවේ ප්‍රගතිය, බහුලත්වයට ගරු කිරීම සහ ආර්ථික සමෘද්ධිය අගය කළේය.

එමෙන්ම කුවේටයේ වෙසෙන ඉන්දියානු ප්‍රජාව දෙරට අතර සන්නිවේදනය ගොඩනඟන ප්‍රධාන පාලමක් ලෙසද ඔහු හඳුන්වා දුන්නේය.

1960 දශකයේ මුල් භාගයේදී විධිමත් තානාපති සබඳතා ආරම්භ වීමටත් පෙර සිටම දෙරට අතර පැවැති ඓතිහාසික වෙළඳ, සංස්කෘතික සහ මානුෂීය සබඳතා පිළිබඳව තානාපති අල්-ෂමාලි මෙහිදී සිහිපත් කළේය.

“දෙරට අතර පවතින මෙම ඓතිහාසික සබඳතාව අද වන විට දේශපාලනික, ආර්ථික සහ ආයෝජන ක්ෂේත්‍රයන් හිද අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර දෙමින් තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා,” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

2026 වසරේදී ඉන්දියාව සහ කුවේටය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් පිරෙන බව පෙන්වා දුන් තානාපතිවරයා, අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව දෙරටේ සපාර්ශ්වික හා උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කුවේටය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ ඉන්දියානු නිලධාරීන්, විදේශීය තානාපතිවරුන්, ව්‍යාපාරික නායකයන් සහ සංස්කෘතික නියෝජිතයන් රැසක් මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.